Thursday, April 20, 2017

සිංහල බුදුබණ හා ලංකා බුද්ධ සාසනය

මූණු පොතේ Pannaloka Thero විසිනි. 

එසේම මෙරටෙහි වෙසෙන බෞද්ධයන් පිරිසක්‌ විශ්වීය බෞද්ධයන් ලෙස හඳුන්වනු ලැබුයේ කවර අර්ථයකින් දැයි පැහැදිලි කරගත යුතුය. මෙම පිරිස තුළ පවත්නා ආකල්පයක්‌ වන්නේ මෙරට වෙසෙන බෞද්ධයන් සිංහල බෞද්ධ යනුවෙන් හැඳින්වීම යුක්‌ති සහගත නොවන බවයි. බුද්ධ සාසනය එක්‌ ජාතියකට අයත් නොවන අතර බුදු දහමට ජාතියක්‌ ඈඳා නොගත යුතුය යන්න ඔවුන්ගේ මතයයි. ගිහි පැවිදි දෙපක්‌ෂයේම නියෝජනයක්‌ මේ සඳහා ඇති බව පෙනේ.

සිංහල බෞද්ධ සංකල්පය බිහි වන්නේ ලංකා බුද්ධ සාසනය (සිංහලයේ බුද්ධ සාසනය හෝ සිංහලයන්ගේ බුද්ධ සාසනය හෙවත් සිංහල බුද්ධ සාසනය) මුල්කොට ගෙනය. බෞද්ධයන් අතරින් කොටසක්‌ සිංහල බෞද්ධ වශයෙන්ද බුද්ධ සාසනය සිංහල බුද්ධ සාසනය වශයෙන් ද එක්‌ ජාතියකට පමණක්‌ කේන්ද්‍රගත කිරීම යුක්‌ති සහගතදැයි විමසිය යුතුය. මෙම කාරණයේදී ලංකාව හෙවත් හෙළය (සිංහලය) තුළ බුද්ධ සාසනය ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ ඉතිහාසය ඉවත දැමිය නොහැකිය.

ත්‍රිපිටක පාළියේ සඳහන් නොවන නමුත්, මිහිඳු මාහිමියන් විසින් ලංකා බුද්ධ සාසනය යන්න සුවිශේෂී අර්ථයකින් සලකා ඇති බව පෙනේ. ලක්‌දිව දෙමාපියන්ට දාව, ලක්‌දිව ම උපන් කෙනෙකු, ලක්‌දිවදීම මහණවී, ලක්‌දිවදීම විනය ඉගෙන, ලක්‌දිවදීම විනය දේශනා කරන තුරු ලක්‌දිවෙහි බුද්ධ සාසනයේ මුල් නොඇදෙන බැව් මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්‌ස රජුට ප්‍රකාශ කළ බව, සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි. ලංකා බුද්ධ සාසනය ඇරඹෙන්නේ අරිට්‌ඨ කුමරුගේ පැවිදි වීමෙන් අනතුරුවයි. අතීතයේ සිටම භාරතවාසීන් විසින් සීහලදීපය හඳුන්වනු ලැබුවේ ලංකා යන නාමයෙනි. ඒ අනුව මිහිඳු මාහිමියන් ද සීහලදීපය හැඳින්වීමට ලංකා යන නාමය ව්‍යවහාර කළහ. මිහිඳු මාහිමියන් විසින් ස්‌ථාපිත කරන ලද ලංකා බුද්ධ සාසනය හෙළ දේශවාසීන්ගේ ව්‍යවහාරයට අනුව හෙළ බුද්ධ සාසනය හෙවත් සිංහල බුද්ධ සාසනය නම් වන්නේය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැත්වූ ධර්ම සංගායනා හේතුවෙන් විවිධ නිකායන් බිහි වූ අතර ථෙරවාදී නිකායේ ත්‍රිපිටකයට ඇතුළත් වූයේ කාශ්‍යප අනන්ද ආදි මහරහතන් වහන්සේලා විසින් සංගෘහිත ධර්ම විනය යි. ථෙරවාදී ත්‍රිපිටකය අනුගමනය කරන්නන් ථෙරවාදීන් හෙවත් ස්‌ථවිරවාදීන් ලෙස සැලකේ. පාලි සාහිත්‍යයේ එන බුදුරදුන්ගේ මුල්ම දේශනාවන් ඉගැන්වීම් ථෙරවාදී නිකාය සතුය. ඉතාමත් නිවැරදි ධර්මය ඇත්තේ මෙම නිකායේ බව සැලකේ, යනුවෙන් "දෙදහස්‌ පන්සිය වසරක බොදු සමය" නම් කෘතියේ දී (1956 වර්ෂයේදී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද Yeas of Buddhism නම් ග්‍රන්ථයේ දී) අනුකුල් චන්ද්‍ර බැනර්ජි මහතා විසින් ථෙරවාදී නිකාය හඳුන්වාදී තිබේ. මිහිඳු මාහිමියන් විසින් ස්‌ථාපිත කරන ලද ලංකා බුද්ධ සාසනය ථෙරවාදී නිකායට අයත් වූවකි.

ඉන් පසුව ථෙරවාදී බුදු දහම ආරක්‌ෂා වූයේ ලංකා බුද්ධ සාසනය හෙවත් සිංහල බුද්ධ සාසනය හේතුවෙනි. වර්තමානයේ ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය ථෙරවාදී බුදු දහම පවතින ප්‍රධාන රටවල් වන අතර මෙම රටවල ථෙරවාදී බෞද්ධයන් විසින් අනුගමනය කරනු ලබන ථෙරවාදී පාලි ත්‍රිපිටකය වළගම්බා රජ දවස ලේඛනගත කරන ලද්දේ සිංහල භික්‌ෂුන් විසිනි. පසු කාලීනව අනෙකුත් ථෙරවාදී රටවලට ව්‍යාප්ත වූයේ එම පාලි ත්‍රිපිටකයයි. එබැවින් පසු කාලීනව ථෙරවාදී බුදු දහමේ මූලස්‌ථානය ලෙස ලංකාව හඳුනාගන්නා ලදී. ථෙරවාදීන්ගේ ත්‍රිපිටක අට්‌ඨකථාවන්හි අටුවාචාරී බුද්ධඝෝස හිමියෝ මෙසේ සඳහන් කරති:

  අපනෙත්වාන තතො"හං සිහලභාසං මනොරමං භාසං

තන්තිනයානුච්ඡවිකං, ආරොපෙන්තො විගත දොසං


එනම් සිංහල භාෂාවෙන් ඇති අටුවා පාලි භාෂාවට පරිවර්තනය කරන්නේය යනු එහි සරල අර්ථයයි. එසේ හෙයින් වර්තමානයේ විද්‍යමාන පාලි අට්‌ඨකථා සිංහල අට්‌ඨකථාවන්ගේ පරිවර්තන වන්නේය. සිංහල භාෂාව යනු ලක්‌වාසින්ගේ හෙවත් සිංහලයන්ගේ භාෂාවයි. මෙසේ බලන කල වර්තමානය වන විට ථෙරවාදී බුදු දහම සහ සිංහලයන් අතර නොකැඩිය හැකි සම්බන්ධතාවක්‌ පවතින බව දැකිය හැක.

1946 පෙබරවාරි 13වන දින ප්‍රසිද්ධ කරනු ලැබු විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි :-"පෙර විසූ සිංහල ගිහි පැවිදි උතුමන් ජාතියේ දියුණුවත් ආගමේ දියුණුවත් දෙකක්‌ හැටියට නොව එකක්‌ හැටියටම කල්පනා කළ බව ඉතිහාසයෙන් පෙනේ. ආගමත් ජාතියත් දෙකක්‌ හැටියට වෙන්කොට සැලකීමට ලක්‌වැසියාට පුරුදු කරන ලද්දේ අන්‍යලබ්ධික බටහිර ආණ්‌ඩුකාර පක්‌ෂය විසිනි. එය මෙරට යටත්කොට තබාගෙන හිතුමනාප අන්දමින් පාලනය කිරීමේ පහසුව සඳහා ඔවුන් විසින් දූරදර්ශීව කරන ලද ව්‍යාපාරයකි" (මෙහි ආගම යන්නෙන් සඳහන් වන්නේ බුද්ධාගමයි). එයින් පෙනී යන්නේ බුද්ධ සාසනය හා සිංහල ජාතිය වෙන්කිරීම අන්‍යාගමිකයන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවක්‌ යන්නයි.

"ටිබෙට්‌ බුදු දහම" යනු බුදු දහමේ එක්‌ පාර්ශ්වයක්‌ හැඳැන්වීමට ජාත්‍යන්තරව භාවිතවන යෙදුමකි. ටිබෙට්‌ රටෙහි ටිබෙට්‌ භාෂාව කතාකරන ටිබෙට්‌ සංස්‌කෘතියට අයත් ටිබෙටියන් විසින් දීර්ඝ කාලයක්‌ ආරක්‌ෂාකොට පවත්වාගෙන එන ලද බුදු දහම (බුද්ධ සාසනය) ටිබෙට්‌ බුදු දහම ලෙස හඳුන්වයි. බුදු දහම එලෙස එක්‌ ජාතියක නාමයෙන් හැඳින්වීම යුක්‌ති සහගත නොවන්නේ යෑයි මේ රටෙහි හෝ අන් කිසිදු රටක, ටිබෙට්‌ බුදු දහම විවේචනයට ලක්‌වී නොමැත. තර්ක විතර්කවලින් තොරව ටිබෙට්‌ බුදු දහම යන යෙදුම ජාත්‍යන්තරවද භාවිත කරනු ලැබේ. එසේම සීහලදීපයෙහි සිංහල භාෂාව කතාකරන සිංහල සංස්‌කෘතියට අයත් සිංහලයන් විසින් බුදු දහම (බුද්ධ සාසනය) දීර්ඝ කාලයක්‌ ආරක්‌ෂාකොට පවත්වාගෙන එන ලද බැවින් එම පිරිස සිංහල බෞද්ධයන් ලෙස හැඳින්වීමද වරදක්‌ නොවේ. මේ රටෙහි සිංහල සංස්‌කෘතිය යන්නෙන් සහ බෞද්ධ සංස්‌කෘතිය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ එකම සංස්‌කෘතියක්‌ පිළිබඳ බව කවුරුත් දනිති.

ථෙරවාදී බුදුදහම ආරක්‌ෂාකොට පවත්වාගෙන ඒමත් සිංහල ජාතියත් බුද්ධාගමත් එකක්‌ කොට සැලකීමත් හේතුවෙන් ලංකාවේ බෞද්ධයන් සිංහල බෞද්ධයන් ලෙස හැඳින්වීම අතිශයින් උචිතය. මුලින් සඳහන් කළ විශ්වීය බෞද්ධයන් යනු විද්‍යාලංකාර ප්‍රකාශයට අනුව ජාතියත් ආගමත් දෙකක්‌ කොට සලකන පිරිසයි. බුදුදහම අකාලික හෙයින් සිංහල ජාතිය පැවතියත් නොපැවතියත් බුදුදහම ලොව පවතී. එහෙත් ලක්‌දිව බුද්ධ සාසනය සහ ථෙරවාදී බුදුසමයේ ආරක්‍ෂාව සහ පැවැත්ම සිංහල ජාතිය මත රඳාපවතී. සිංහල බෞද්ධයන්ගේ වගකීම විය යුත්තේ එකී බුද්ධ සාසානයත් ථෙරවාදී බුදුසමයත් ආරක්‌ෂාකිරීමයි. ඒ වූ කලී ආකාස්‌මිකව සිදුවන්නක්‌ නොව උත්සහයෙන් කළ යුත්තකි.

වර්තමාන ලංකාවාසී අප විසින් බුදුදහම පිළිබඳ අවබෝධය ලබා ඇත්තේ සිංහල බුද්ධ සාසනයේ අඛණ්‌ඩ පැවැත්ම නිසා මිස ස්‌වයංභූ ඥානයකින් නොවේ. ලංකාවේ විශ්වීය බෞද්ධයන්ට බුදුදහමේ දායාදය ලැබී ඇත්තේද අතීත සිංහල බෞද්ධයන් නිසා බව අමතක නොකළ යුතුයි. එහෙයින් අනාගතයට බුදුදහම දායාද කරනු වස්‌ බුද්ධ සාසනයේ ආරක්‍ෂාව අනිවාර්යයෙන් කළ යුත්තක්‌ව පවතී. මක්‌නිසාද යත් අතීත සිවුවනක්‌ පිරිසගේ කැපවීම නොවන්නට වර්තමාන සිව්වනක්‌ පිරිසක්‌ බිහිනොවන්නා සේම වර්තමාන සිවුවනක්‌ පිරිසේ කැපවීම නොවන්නට අනාගත සිව්වනක්‌ පිරිසක්‌ බිහිනොවන නිසාය.

No comments:

Post a Comment